Chatbot Icon
...

සංචාරක පුවත්

SLTDA සහ ආයෝජන මණ්ඩලය අතර සහයෝගීතාව වැඩිදියුණු කිරීම සඳහා අවබෝධතා ගිවිසුම් අත්සන් කෙරේ

March 09, 2020

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA) සහ ආයෝජන මණ්ඩලය (BOI) අතර සහයෝගීතාව ඉහළ නැංවීම සඳහා අවබෝධතා ගිවිසුමක් අත්සන් කරන ලදී. එමගින් SLTDA සහ ආයෝජන මණ්ඩලය අතර ආයෝජන අනුමත කිරීමේ ක්‍රියාවලිය විධිමත් කිරීම තුළින් එය විදේශීය හා දේශීය ආයෝජකයින් සඳහා ගතවන කාලය හා පිරිවැය අඩු කරනු ඇත.

SLTDA සභාපතිනි කිමර්ලි ප්‍රනාන්දු මහත්මිය සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් චම්පිකා මලල්ගොඩ මහත්මිය සමඟ ගිවිසුම් දෙකක් ආයෝඡන මණ්ඩල සභාපති සුසන්ත රත්නායක මහතා ඉදිරියේ අත්සන් තැබීම සිදු විය.

SLTDA දැනටමත් ආයෝජක සම්බන්ධතා ඒකකය (IRU) මඟින් අනුමත කිරීමේ ක්‍රියාවලිය සහ පහසුකම් සැලසීමේ කටයුතු විධිමත් කිරීමේ ක්‍රියාවලියක නිරතව සිටී. එහි අරමුණ වන්නේ ආයෝජකයින්ට අවශ්‍ය නිවැරදි හා විශ්වාසදායක තොරතුරු සැපයීම සහ අවම කාල සීමාවක් තුළ අදාළ සියලු රාජ්‍ය ආයතන වලින් අනුමැතීන් ලබා දීමයි. ඉහත සඳහන් විධිමත් කිරීම සඳහා සහාය වන්නේ USAID ශ්‍රී ලංකාවේ කඩිනම් ආයෝජනයට සහාය වීම සඳහා වූ ව්‍යාපෘතිය (USAID-SAIL) යි..

ආයෝජන මණ්ඩලයේ (BOI) ප්‍රධාන අරමුණු අතර විදේශීය සෘජු ආයෝජන (FDI) ඇතුළු ආයෝජන දිරිගැන්වීම සහ ප්‍රවර්ධනය කිරීම, විදේශ විනිමය ඉපැයීමේ ප්‍රභවයන් විවිධාංගීකරණය කිරීම සහ අපනයන ආදායම වැඩි කිරීම, නවෝත්පාදනයන් ප්‍රවර්ධනය කිරීම, නව තාක්‍ෂණයන් අනුගමනය කිරීම, නව රැකියා උත්පාදනය කර වෙළඳ මධ්‍යස්ථානයක් ලෙස ලංකාව ප්‍රවර්ධනය කිරීම යනාදිය ඇතුළත් වේ.

2005 අංක 38 දරන සංචාරක පනතට අනුව, SLTDA හි ආයෝජන සම්බන්ධතා ඒකකය (IRU) විශේෂයෙන් සංචාරක ආයෝජන ක්‍රියාත්මක කිරීම සඳහා අදාළ සියළුම ක්‍රියා පටිපාටි සඳහා සහයෝගය ලබා දීමට කටයුතු කරයි. සංචාරක ආයෝජන සඳහා කාර්යක්ෂම, ඵලදායි හා කරදරයකින් තොරව ආයෝජනය කළ හැකි ක්‍රියාවලියක් සැපයීම සඳහා වන සහයෝගීතාවය මෙම අවබෝධතා ගිවිසුම තුළින් ශක්තිමත් කෙරේ.

මේ දක්වා සංචාරක ආයෝඡන ක්‍රියාවලිය විධිමත් කිරීම සඳහා SLTDA විසින් නාගරික සංවර්ධන අධිකාරිය (UDA), වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව (CCD) මෙන්ම දැන් ආයෝජන මණ්ඩලය සමඟත් අවබෝධතා ගිවිසුම් අත්සන් කර තිබේ. ඉදිරියේදී මධ්‍යම පරිසර අධිකාරිය (CEA), වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව (DWC), පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව සහ ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සමග ද ගිවිසුම්වලට එළඹීම සඳහා ඉල්ලුම් කර තිබේ.

සමස්ත ක්‍රියාවලියම සරල කිරීම සඳහා, මාර්තු 2020 වන විට ආරම්භ කිරීමට නියමිත ප්‍රධාන පෙළේ නියෝජිතායතනවල සියලුම අවශ්‍යතා ඇතුළුව ආයෝජකයින් සඳහා පොදු අයදුම්පත්‍රයක් SLTDA විසින් සකසා ඇත.

“සංචාරක ව්‍යාපාරයේ ආයෝජකයින්ගේ අනුමත කිරීමේ ක්‍රියාවලිය වේගවත් කිරීමට පොදු අයදුම්පත්‍රය උපකාරී වෙනවා. එය ක්‍රියාත්මක කිරීම සඳහා අනුමැතිය ලබා දීම සඳහා අනෙකුත් අනුබද්ධ ආයතන ශ්‍රී ලංකා සංචාරක අධිකාරියට සහයෝගය දැක්වීම වැදගත් අවස්ථාවක්. ආයෝජකයින්ට අදාල අයදුම්පත්‍රය අපේ වෙබ් අඩවිය හරහා අප්ලෝඩ් කළ හැකි අතර ඉදිරියේදී වේගවත් අනුමැතියක් ලබා ගැනීම සඳහා වෙනත් නියෝජිත ආයතන සමඟ Online සම්බන්ධ වී අනුමැතියේ තත්ත්වය නිරීක්ෂණය කරන්නටත් හැකිවේවි.” සංචාරක ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පැවසීය.