සියලු පහසුකම් වලින් සපිරි ශ්‍රී ලංකා සංචාරක App එක එළිදක්වන ලද බවත්, Online වීසා ක්‍රියාවලිය සමඟ සම්බන්ධ කිරීම සඳහා ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ අවසරය බලාපොරොත්තුවෙන් පවතින වන බවත් ශ්‍රී ලංකා සංචාරක අධිකාරිය සතුටින් දැනුම් දෙයි.
“Online වීසා ක්‍රියාවලිය වෙත App එකට පිවිසුම් අවසර දීම සඳහා අවශ්‍ය කැබිනට් පත්‍රිකාව අපි දැන් සකස් කර තිබෙනවා. එය නව අමාත්‍ය මණ්ඩලය වෙත ශ්‍රී ලංකා සංචාරක අධිකාරිය ඉදිරිපත් කළ පළමු කැබිනට් පත්‍රිකාවයි,” ශ්‍රී ලංකා සංචාරක අධිකාරියේ සභාපතිනි කිමර්ලි ප්‍රනාන්දු මහත්මිය සඳහන් කළාය.
UNDP ආධාරයෙන් සංචාරක App එකෙහි මුල් අනුවාදය සංවර්ධනය කෙරෙමින් පවතින අතර දිවයින පුරා සංචාරය කිරීමට අවශ්‍ය සියළුම තොරතුරු සංචාරකයින්ට ලද හැකි පරිදි එය වැඩි දියුණු කෙරේ.
ඔවුන් ලෝකයේ ඉහළම සංචාරක Apps සියල්ල සලකා බැලූ බවත් ඒවායේ විශේෂාංග ශ්‍රී ලංකා සංචාරක App එකට ඇතුළත් කළ බවත් ඇය තවදුරටත් පෙන්වා දුන්නාය.
“ඇත්තෙන්ම මෙය COVID-19 පහව ගිය පසු මෙරටට පැමිණෙන සංචාරකයින්ගේ වෙනසක් දකින්න උපකාරී වේවි. ගුවන් තොටුපළ නැවත විවෘත කරන නිශ්චිත දිනයක් ගැන තවමත් තීරණයක් ගෙන නොතිබුණත්, ඒ සඳහා ගත යුතු ක්‍රියා පටිපාටි සියල්ලම දැන් අවසන් කරලා තිබෙන්නේ,” ඇය පැවසුවාය